දැව භාණ්ඩ ප්‍රවාහනය සඳහා බලපත්‍රයක් ලබාගැනීමට පැන වූ නීතිය ලිහිල් කිරීමට තීරණය කළ බව පරිසර අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා පවසයි. ලී භාණ්ඩ ප්‍රවාහනය කිරීම සම්බන්ධ නීති සංශෝධනය කිරීමේ ගැසට් පත්‍රයකට අත්සන් තබමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇතැයි පරිසර අමාත්‍යාංශය පවසයි.ග්‍රාමීය ප්‍රදේශවල අහිංසක ජනතාවට සිය විවාහ උත්සවවලදි දයාද භාණ්ඩ ප්‍රවාහනයේදී අදාල ගෘහ භාණ්ඩ වටිනාකමට වඩා වැඩියෙන් අපහසුතාවට පත්වීමට සිදු වන හෙයින් ඒ පිළිබඳ ද සලකා බලා මෙම තීරණයට එළඹි බව අමාත්‍යවරයා සඳහන් කළේය.
ඒ අනුව සියලු පරිපාලන දිස්ත්‍රික්කවල ඉරූ ගිනිසපු දැව හා ගිනිසපු දැවවලින් සාදන ලද භාණ්ඩ, කොළඹ දිස්ත්‍රික්කය හැර සියලු පරිපාලන දිස්ත්‍රික්හි කළුවර, කළුමැදිරිය, සුදු හඳුන්, බුරුත සහ නැඳුන් දැව හැර අනෙකුත් සියලු දැවවලින් සාදා නිම කළ ගෘහ භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ දී බලපත්‍ර ලබාගැනීමේ අවශ්‍යතාවෙන් නිදහස් කෙරේ.
සියලු පරිපාලන දිස්ත්‍රික්වල සියලු මහනගර සභා සීමා තුළ කළුවර, කළු මැදිරිය, නැඳුන් සහ සුදු හඳුන් යන දැව වර්ග හැර අනෙකුත් සියලු දැව වර්ගවල ඉරන ලද දැව, දැව භාණ්ඩ, වට කණු සහ දර ප්‍රවාහනය සඳහා බලපත්‍ර අවශ්‍ය නොවනු ඇත.
හංවැල්ල, පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය හැර කොළඹ දිස්ත්‍රික්කයේ සියලු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ මෙන් ම සීතාවක නගර සභා සීමාව තුළ, ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල-මාබෝල, කටුනායක-සීදූව, ජා ඇල, මිනුවන්ගොඩ සහ පෑලියගොඩ නගර සභා සීමාව තුළ, කළුතර දිස්ත්‍රික්කයේ පානදුර, බේරුවල සහ කළුතර නගර සභා සීමාව තුළ, මහනුවර දිස්ත්‍රික්කයේ මහනුවර, වත්තේගම සහ කඩුගන්නාව නගර සභා සීමාව තුළ, ගාල්ල දිස්ත්‍රික්කයේ අම්බලන්ගොඩ සහ හික්කඩුව නගර සභා සීමාව තුළ, මාතර දිස්ත්‍රික්කයේ වැලිගම නගර සභා සීමාව තුළ, හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල නගර සීමාව තුළ, යාපනය, පේදුරු තුඩුව, වැල්වැටිතුරේ සහ චාවකච්චේරිය නගර සභා සීමාව තුළ, මන්නාරම දිස්ත්‍රික්කයේ මන්නාරම නගර සභා සීමාව තුළ, අම්පාර දිස්ත්‍රික්කයේ අම්පාර නගර සභා සීමාව තුළ, මඩකළපුව දිස්ත්‍රික්කයේ කාත්තන්කුඩි නගර සභා සීමාව තුළ, ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ කින්නියා නගර සභා සීමාව තුළ, කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය නගර සභා සීමාව තුළ, පුත්තලම දිස්ත්‍රික්කයේ පුත්තලම හා හලාවත නගර සීමාව තුළ, රත්නපුර දිස්ත්‍රික්කයේ ඇඹිලිපිටිය නගර සභා සීමාව තුළ, කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල නගර සභා සීමාව තුළ මෙම සංශෝධනය බල පැවැත්වෙන බව පරිසර අමාත්‍යාංශය පවසයි.
| ← වැලිසර ළය රෝහලට නව පරිපාලනයක් | ජපන් රජයෙන් ට්‍රැක්ටර් ප්‍රදානයක් → |
|---|




