දරුවන්ගේ යහපත වෙනුවෙන් ගන්නා තීරණවලට එරෙහි වන්නන් අතීතයේ ද වූ බවත් එම අභියෝග හොඳින් අවබෝධ කරගෙන දරුවන් වෙනුවෙන් හෙට දවසේ කි‍්‍රයාත්මක වීමට කිසිසේත් පසුබට නොවන බවත් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය 16 වැනි දා කොළඹ බෞද්ධාලෝක මාවතේ, ධර්ම විජය පදනම විසින් වාර්ෂික ව පවත්වනු ලබන අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසිහ මහා නාහිමි අනුස්මරණ ප‍්‍රණාම සහතික හා ත්‍යාග ප‍්‍රදානෝත්සවයට සහභාගී වෙමිනි.
අනගාරික ධර්මපාලතුමා මෙරට පාසල් 122 ක් නිර්මාණය කළ අවස්ථාවේ එවක සිටි ජනතාව "මුට්ටි කාසිකාරයෙක්" යැයි එතුමන්ට අපහාස කළ අතර දැඩි කළකිරීමට හා පසුතැවීමට පත් වූ එතුමා රට හැර යන්නට තීරණය කළ බව ද හෙතෙම අවධාරණය කළේ ය.
කන්නන්ගර මැතිඳුන් නිදහස් අධ්‍යාපන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මොහොතේ මෙරට ජනතාව එය ප‍්‍රතික්ෂේප කර එතුමන්ට විරුද්ධ වූ බවත් රටට, දරුවන්ට ආදරයෙන් දැවැන්ත තීරණ ගන්නා සෑම මොහොතක ම එවැනි අභියෝගවලට මුහුණදීමට සිදුවන බව තමා හොඳින් අවබෝධ කර ගනිමින් සිටින බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.
විශ්වයට ගැළපෙන නැණ, ගුණ, බල, සුව සපිරි දරුවන් බිහිකිරීම වෙනුවෙන් රට පුරා ද්වීතීයික පාසල් 1000 ක් නගා සිටුවීමේ වැඩසටහනේ දී එළඹෙන අභියෝගවලට තමා සූදානම් බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.