
න්‍යෂ්ටික අනතුරකින් ශ‍්‍රී ලංකාවේ පාරිසරික විකිරණශීලීතාව යම් අයුරකින් ඉහළ ගියහොත් ඒ සඳහා ප‍්‍රතිචාර දැක්වීමට, වහා හඳුනාගැනීමේ පද්ධතියක් හඳුන්වා දීමට පරමාණුක ශක්ති අධිකාරිය පියවර ගනී.
පරමාණුක ශක්ති අධිකාරිය මගින් 2010 වසරේ කළ ඉල්ලීමක් අනුව ජාත්‍යන්තර පරමාණු බල නියෝජිතායතනය (අයි.ඒ.ඊ.ඒ) යුරෝ 72,000 ක් පමණ වටිනා උපකරණ 2012 වසරේ දී මෙරට ට ලබා දී ඇත.
න්‍යෂ්ටික ආපදාවක දී ජාතික මට්ටමින් ප‍්‍රතිචාර දැක්වීමට සූදානම් වීම අත්‍යවශ්‍ය යැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හඳුනාගෙන ඇති අතර අයි.ඒ.ඊ.ඒ මගින් මේ සම්බන්ධ ආරම්භක කටයුතු සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හා පරමාණුක ශක්ති අධිකාරියේ කාර්යය මණ්ඩල සාමාජිකයින් පුහුණු කර තිබේ.
එහි ප‍්‍රථම පියවර වශයෙන් කල්පිටිය, තලෙයි මන්නාරම, ඩෙල්ෆ්ට් හා කන්කසන්තුරේ පිහිටි නාවුක හමුදා මූලස්ථානවල විකිරණ මැනීමේ උපකරණ ස්ථාපිත කිරීමට ශී‍්‍ර ලංකා නාවුක හමුදාව ආරක්ෂක අමාත්‍යංශයේ අනුමැතිය ලබා දී ඇති අතර ඒ සදහා පහසුකම් ද ලබා දී ඇත.
මෙම උපකරණ මගින් ඉන්දියාවේ හෝ වෙනත් රටක සිදුවිය හැකි න්‍යෂ්ටික අනතුරක් මගින් වයඹ ප‍්‍රදේශයේ හා උතුරේ ස්ථානවල සිට ලංකාවේ පාරිසරික විකිරණශීලීතාව ඉහළ යාම ද හඳුනා ගැනේ.