සිය බිළිඳු දරුවා විකිණීමට උත්සාහ දැරූ මව පියා ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගැනීමට පුත්තලම පොලීසිය සමත් වේ.
පුත්තලම පාලවිය ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු තම දින 06 ක් වයසැති බිළිඳු දැරිය ඉකුත් 13 වැනි දා සවස් කාලයේ දී නිවසේ සිටිය දී සොරාගෙන ගොස් ඇති බවට පුත්තලම පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
කෙසේ වෙතත් පැමිණිලිකරු සිය දරුවා පෝෂණය කිරීමට නොහැකි බව පවසමින් අතරමැදියෙකු හරහා කල්පිටිය ප‍්‍රදේශයේ පදිංචි විවාහක යුවළකට කැමැත්තෙන් ම ඇය භාර දී ඇති බවත් දරුවා ලබා දී එම යුවළගෙන් පසුව මුදල් ඉල්ලා ඇති බවත් මේ සම්බන්ධයෙන් පොලීසිය විසින් සිදු කළ විමර්ශනයේ දී අනාවරණ වී ඇත.
තමා ඉල්ලූ මුදල ලබා ගත නොහැකි වීමෙන් අනතුරුව දරුවා විකිණීමට උත්සාහ කළ පුද්ගලයා මෙසේ අසත්‍ය පැමිණිල්ලක් කර ඇති බවට කරුණු හෙළි වී තිබේ.
බිළිඳිය පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර සැකකරුවන් 17 වැනි දා පුත්තලම මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.