පානදුර මුහුදේ දිරාපත් වෙමින් පවතින වෙළෙඳ නෞකාව යම් හෙයකින් ආපදාවකට ලක් වුවහොත් දැවැන්ත පාඩුවක් සිදුවිය හැකි බැවින් එය එම ස්ථානයෙන් ඉවත් කරන ලෙස පරිසර අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිවරයාට දැනුම් දෙයි.
එය ජාතික ආපදා තත්ත්වයක් බවට පත්විය හැකි බැවින් අනතුරක් සිදු වීමට ප්‍රථම නෞකාව වහා ඉවත් කරන ලෙසත් ඉදිරි මෝසම් කාලයේ දී මුහුද රළු නොවන ත්‍රිකුණාමලය වැනි ප්‍රදේශයකට එය රැගෙන යන ලෙසත් අමාත්‍යවරයා දැනුම් දී ඇත.
2008 සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අංක 35 දරන පනතේ 24වැනි වගන්තිය යටතේ සමුද්‍ර දූෂණයක් සිදු විය හැකි යැයි පැහැදිලි සාක්ෂි ඇති ඕනෑ ම අවස්ථාවක එය වැළැක්වීම සඳහා ඕනෑ ම ආකාරයක පියවරක් ගැනීමේ බලය අධිකාරිය සතු වේ.
ඒ අනුව මෙම නෞකාව ආරක්ෂිත ස්ථානයක් කරා ගෙන යාමට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ හාබර් මාස්ටර් ඩයිරස් ආයතනයේ භාරකරු කපිතාන් ආර්ඒ ජයවික්‍රම වෙත අමාත්‍යවරයා උපදෙස් දී ඇත.
THERMOPYLAE SIERRA නම් වූ මෙම වෙළෙඳ නෞකාව සයිප්‍රස් රජයට අයත් වන අතර ශ්‍රී ලංකාව හරහා අරාබි කලාපයට ගමන් කරමින් තිබිය දී නැව් හිමියන් හා සේවකයින් අතර ඇතිවූ ආරවුලක් හේතුවෙන් ශ්‍රී ලංකා වාණිජ මහාධිකරණයේ ඊට එරෙහි නඩු පවරා තිබේ.
එම නෞකාවේ ඉහළ මාලයේ සිමෙන්ති නිපදවීමේ යන්ත්‍රයක් ද, යකඩ පයිප්ප ඇතුළු ටොන් 15,612ක භාණ්ඩ ප්‍රමාණයක් ද, දැවි තෙල් මෙට්‍රික් ටොන් 370ක් ද අන්තර්ගත ය.