
පරිගණකය සහ අන්තර්ජාලය සමඟ සිංහල සහ දෙමළ භාෂාවෙන් වැඩ කිරීම සඳහා සකසන ලද මෘදුකාංග සහ අන්තර්ගතයන් රැසක් එළිදැක් වූ බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය සඳහන් කරයි.
කොළඹ ජයික් හිල්ටන් හෝටලයේ දී පසුගියදා මෙම එළි දැක්වීම් සිදු වූ අතර මෙම නියෝජිතායතනය මූලිකත්වයෙන් මෙම මෘදුකාංග සහ අන්තර්ගතයන් සකස් කර තිබේ.
සිංහල භාෂා සංඛ්‍යාංක යුනිකෝඩ් ප්‍රමිතියට සකස් කර එළි දැක්වීම මෙහි දී සිදු කරන ලද අතර එය 1134: 2011ශ්‍රී ලංකා ප්‍රමිතියට අනුකූල ව සකස් කර ඇත.
ශෛලීගත කලාත්මක ආකාරයෙන් සකස් කරන ලද සිංහල අකුරු මෝස්තර හයක් (Fonts) සහ දෙමළ අකුරු මෝස්තර (Fonts) හයක් එළිදක්වන ලදි.
පරිගණකය ආශ්‍රිත ලිපි ලේඛන සකස් කිරීම මෙන් ම වෙබ් අඩවි නිර්මාණය කිරීමේ දී එම කටයුතු ඉතා කලාත්මක සහ නිර්මාණශිලීව ද සිදු කළ හැකි ආකාරයෙන් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර තිබේ.
ඇපල්මැක් මෙහෙයුම් පද්ධතිය සිංහල හා දෙමළ භාෂාවන්ගෙන් භාවිත කිරීමට සකස් කරන ලද යතුරු පුවරු ධාවකය හා එම අකුරු එළිදැක්වීම, සිංහල හා දෙමළ අකුරු සකස් කිරීම පිළිබඳ සම්පාදනය කරන ලද (Guide to creating Sinhala and Tamil Unicode Fonts) ග්‍රන්ථය දොරට වැඩුම, දේශීය භාෂා ක්‍රියාකාරී කණ්ඩායමේ සාමාජිකයින් ඇගයීමට ලක් කිරීම ද මෙහිදී සිදු විය.