ජ්‍යෙෂ්ඨ මාධ්යවේදීන්ට, කලාකරුවන්ට සහ ලේඛකයින්ට මෝටර් රථ මිල දී ගැනීම සඳහා සහන ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කෙරේ.
ඒ අනුව ඔවුන්ගේ සුබසාධනය සඳහා අරමුදලක් පිහිටුවීමට 2012 අයවැය මගින් ඉදිරිපත් කරන ලද යෝජනාව ද ක්‍රියාත්මක කරන බව මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශය පවසයි.
ජ්‍යෙෂ්ඨ මාධ්යවේදීන්ට, කලාකරුවන්ට හා ලේඛකයින්ට මෝටර් රථ හෝ වෑන් රථ මිල දී ගැනීම සඳහා පොලී රහිත ව රුපියල් ලක්ෂ 12ක උපරිම ණය මුදලක් රාජ්‍ය බැංකු මගින් ලබාගත හැකි අතර වාහනයේ වටිනාකම රුපියල් ලක්ෂ 12 ඉක්ම වන්නේ නම් එම හිඟ මුදල සාමාන්‍ය පොලී අනුපාත යටතේ අදාළ රාජ්‍ය බැංකුවෙන් ම ලබාගත හැකිය.
මෙම යෝජනා ක්‍රමයේ පළමු අදියර යටතේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන්ට ණය ලබාදීම හා ඔවුන් සඳහා සුබසාධන අරමුදලක් පිහිටුවීමට අදාළ උපදෙස් හා අනුමැතිය මහා භාණ්ඩාගාරය මඟින් ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශයේ ලේකම් වෙත මේ වනවිට නිකුත් කර ඇත.
ඒ අනුව ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශය විසින් අදාළ අයදුම්පත් කැඳවීම හා ඒ පිළිබඳ මාධ්‍යවේදීන් දැනුවත් කිරීම ඉදිරි දින කිහිපය තුළ සිදු කෙරෙනු ඇත.
මෙම යෝජනා ක්‍රමයේ දෙවන අදියර යටතේ කලාකරුවන්ට හා ලේඛකයින්ට සහන සැලසීම සිදුකෙරෙන අතර සංස්කෘතික කටයුතු හා කලා කටයුතු අමාත්‍යාංශය මගින් ඒ සඳහා අදාළ සම්බන්ධීකරණය සිදුකරන බව අමාත්‍යාංශය පවසයි.