Wed05222013

Last update09:15:57 PM GMT

sd sd

පොල් ආශ්‍රිත කර්මාන්තකරුවන්ට සහන ණය යෝජනා ක්‍රමයක්

  • පී.ඩී.එෆ් (PDF)

altපොල් ආශ්‍රිත කර්මාන්තවල නියැළී සිටින්නන් සහ ක්ෂේත්‍රයට පිවිසීමට අපේක්ෂිත නිෂ්පාදකයින් දිරිගැන්වීමේ අරමුණින් කප්රුක නිපැයුම් දිරිය සහන ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දීමට කටයුතු යොදා ඇති බව පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍ය ජගත් පුෂ්පකුමාර පවසයි.

 
පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ පොල් සංවර්ධන අධිකාරිය සහ මහජන බැංකුව ඒකාබද්ධ ව මෙම සහන ණය යෝජනා ක්‍රමය හඳුන්වා දේ.
 
2011 වසරේ සමස්ත අපනයන කෘෂිකර්මාන්ත දර්ශකයේ ඉහළ ම ප්‍රගතිය අත්පත් කරගනිමින් පොල් ආශ්‍රිත කර්මාන්තයේ නිෂ්පාදකයින් කර්මාන්තයට කළ මෙහෙවර වඩාත් ශක්තිමත් කිරීම මෙම ණය යෝජනා ක්‍රමය හඳුන්වාදීමේ මූලික අපේක්ෂාව බව අමාත්‍යවරයා පැවසී ය.
 
දිවයින පුරා පොල්තෙල් හා කොප්පරා කර්මාන්තය නඟා සිටුවීම, පොල් මද ආශ්‍රිත අනෙකුත් විධිමත් කර්මාන්ත නවීකරණය,  තත්ත්ව ආරක්ෂණ කටයුතු නංවාලීම, පරිසර හිතකාමී පොල් කටු අඟුරු නිෂ්පාදනය දිරිමත් කිරීම, කොහු කෙඳි හා නිමි භාණ්ඩ නිෂ්පාදනය දිරිගැන්වීම, පොල් ආශ්‍රිත අපනයන නිෂ්පාදන කර්මාන්තය සඳහා රැකියා උත්පාදනය වෙනුවෙන් මෙම සහන ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කෙරේ.
 
මෙම කප්රුක නිපැයුම් දිරිය සහන ණය යෝජනා ක්‍රමයට අදාල පොල් සංවර්ධන අධිකාරිය හා මහජන බැංකුව අතර ගිවිසුම අත්සන් කිරීම පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍යාංශයේ දී 16 වැනි දා පෙරවරු 10.30ට‍ සිදු කිරීමට නියමිත ය.
Share/Save/Bookmark