හේවාගම් කෝරළයේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙස විරුදාවලි ලත් 51 වැනි හෝමාගම පොසොන් මහා පෙරහර 09 වැනි දා රාත්‍රී හෝමාගම පුරාණ මහා විහාරයෙන් පිටත් ව වීදී සංචාරය කිරීමට නියමිත ය.
ඒ අනුව පෙරහර හෝමාගම පුරාණ මහා විහාරයෙන් පිටත් ව අතුරුගිරිය පාර, හෝමාගම නගරය, හයිලෙවල් මාර්ගය ඔස්සේ වලව්ව මංසන්ධිය, වලව්ව පාර, නගර සීමා මාවත, අතුරුගිරිය පාර ඔස්සේ විහාරස්ථානයට ළඟා වීමට නියමිත බව හෝමාගම පුරාණ විහාරස්ථ ශ්‍රී මහින්දෝත්සව සමිතිය දැනුම් දේ.
සීනාදී සිව් කෝරළයේ ප්‍රධාන සංඝනායක, හෝමාගම පුරාණ මහා විහාරයේ විහාරාධිපති, ශ්‍රී සද්ධර්ම වාගීෂ්වර, ශාස්ත්‍රවේදී, මාදෝවිට පඤ්ඤාකිත්ති නායක හිමිපාණන් හා හෝමාගම පුරාණ විහාරාධිකාරී, ඌව පළාත් පිරිවෙන් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ශාස්ත්‍රපති මාදෝවිට
වජිරබුද්ධි හිමිපාණන් මෙම පෙරහර මංගල්‍යයට සංවිධාන උපදේශකත්වය ලබා දෙයි.
මෙහි විශේෂත්වය වනුයේ අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ පිළිම වහන්සේ වැඩමවීම හා දේවාල පෙරහර නොමැතිවීම බව වාර්තා වේ.
පහතරට, උඩරට, සබරගමු ඇතුළු නර්තන කණ්ඩාම් රැසක්, අලි ඇතුන් 30 කට අධික සංඛ්‍යාවක්,මිහිඳු මහ රහතන් වහන්සේගේ ආගමනය විදහා දැක්වෙන සංස්කෘතික අංග රැසක් ඊට ඇතුළත් ය.
හෝමාගම ප්‍රදේශීය සභාව, හෝමාගම ප්‍රදේශීය මහ ලේකම් කාර්යාලය, හෝමාගම පොලීසිය, හෝමාගම ව්‍යාපාරික භවතුන්, රාජ්‍ය හා පෞද්ගලික ආයතන පෙරහර සඳහා බැතිබර දායකත්වය සපයයි.